දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවයි.
එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත්, ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම එමෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සඳහා බලපාන වර්ෂාපතනයක් නොවන බවත් පැවසූ ආපදා කළමනාකරණ ඉංජිනේරුවරයා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවයි.
එමෙන්ම දෙපාර්තමේන්තුව සතුව පවතින වාරි පද්ධති සැලකීමේදි ප්‍රධාන වැව් 30කට ආසන්න ප්‍රමාණයක වාන් දැමීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදුකර ඇති බවත් වාන් දොරටු විවෘත කර ජලාශවල ජල මට්ටම් පහළ දැමීම සඳහා රාජාංගන, දැදුරු ඔය, නාච්චදූව, සේනානායක සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර වැනි ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ නමුත් එම ජලාශවල ජල මට්ටම් ඉහළ යාමකට තරම් ජල මට්ටමක් නිදහස් නොකරන බවත්, පාලනයකින් යුතුව ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගෙන එය කළමනාකරණ කර ගැනීම සඳහා ජල මට්ටම් අඩු කිරීම සිදුකරන බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
එමෙන්ම සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි දින කිහිපයේත් වර්ෂාපතනය ලැබීමේ පුරෝකථන පවතින බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස හා ඉදිරි තත්ත්වයන් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම් සිදුකරන බවයි.











