2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) හා හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සෞදි අරාබියේ Jeddah හීදී (Abady Al Johar Arena) පැවැත්වීමට නියමිත වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි.
දිවා ආහාරය සදහා වෙන්දේසියේ වැඩකටයුතු පස්වරු 5:00 ට නතර කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් පසුව වෙන්දේසිය යළි ආරම්භ වන්නේ පස්වරු 5:45 ටයි.
රාත්‍රී 10:30 දක්වා ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇති අතර ක්‍රීඩක වෙන්දේසිය Star Sports මාධ්‍ය ජාලය හරහා සජීවීව විකාශය කිරීමට නියමිතව තිබෙනවා.
ක්‍රීඩකයින් 1,574 දෙනෙකු ලියාපදිංචි වී සිටි නමුත්, වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ක්‍රීඩකයින් 577 දෙනෙකු පමණයි.
ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයින් 367 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 210 දෙනෙකු ඇතුළත්.
තරගාවලියේ සංවිධායකයින් පළමුව නිවේදනය කර තිබුණේ ක්‍රීඩකයින් 574 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන බවයි. පසුව එම ලැයිස්තුවට එංගලන්තයේ ජොෆ්ර ආචර්, අමෙරිකා එක්සත් ජනපදයේ Saurabh Netravalkar හා ඉන්දියාවේ Hardik Tamore ඇතුළත් කෙරුණා.
වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඉන් 70 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු ද වෙන්දේසියට ලියාපදිංචි වී සිටි නමුත්, වෙන්දේසිය සඳහා 19 දෙනෙකු පමණක් ඉදිරිපත් කෙරෙනු ඇති.
ඉහළම මූලික වටිනාකමක් වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ පමණයි.
ඉන්දීය රුපියල් ලක්ෂ 75 යටතේ – විජයකාන්ත් වියස්කාන්ත්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මදුෂංක, දුෂාන් හේමන්ත, දසුන් ශානක, ලහිරු කුමාර සිටිනවා.
ඒෂාන් මාලිංග, දුමිදු සෙව්මින ඉන්දීය රුපියල් ලක්ෂ 30 යටතේ රදවා ගත් ක්‍රීඩකයින්බවයි පැවසෙන්නේ.
ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් ඔක්තෝබර් 31 වැනිදා සියලු කණ්ඩායම් විසින් නිවේදනය කළා.
එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු සංචිතයේ රදවා ගැනීමට අවසර ලබා දී තිබූ අතර, රදවා ගන්නා ක්‍රීඩකයින්ට හා වෙන්දේසියේ දී මිලදී ගන්නා ක්‍රීඩකයින්ට එක් කණ්ඩායමට වියදම් කළ හැකි සමස්ත මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 120 ක්.