නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරාගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සන්නිවේදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ශ්‍රී ලංකා මහ බැංකුවට ඊයේ (18) නියෝග කළා.
රුපියල් කෝටි 5000කට අධික ජනතා මුදල් චංචා කරමින් මෙරට පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතන 11කට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළව මහ බැංකු නිලධාරීන් කැදවා සිදුකළ විමසීමකදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ.
ඒ අනුව එම වැඩපිළිවෙළේ ව්‍යාපෘති සැලැස්මක් මාස දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.
එසේම, මහ බැංකුවේ කාර්ය භාර්ය විමසීම සදහා ශ්‍රි ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ද අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට මීට පෙර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
අධිකරණය නිකුත් කළ එම නියෝගයට අනුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ නිරෝෂන් මායාදුන්නේ ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඔහු කරුණු දක්වමින් කියා සිටියේ, බැංකු පනතේ 83 (ඈ) 03 වගන්තිය ප්‍රකාරව නීති විරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහ බැංකුව සතුවන බවයි.
එම පනත ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන්ට එරෙහිව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සැකකරුවන් පොලිසියට යොමු කළ හැකි බවත් නීතිවිරෝධී මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම් සිදු කරන බවත් අධ්යක්ෂවරයා එහිදී අවධාරණය කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා, කියා සිටියේ මහ බැංකුව මගින් ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියා තමන් මෙරට ජනමාධ්‍ය හරහා දැක නොමැති බවයි.
මහේස්ත්රාත්වරයෙකු ලෙස නොව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තමා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පරිශීලනය කරන බවත් මේ ආකාරයට දැන්වීම් තමා දැක නොමැති බවත් විනිසුරුවරයා මෙහිදී කියා සිටියා.
මහ බැංකුවට විමර්ශන සඳහා බලතල සහ සම්පත් පවතින බවත් නීති විරෝධී ආයතනවල ජනතාව මුදල් අයෝජනය වලක්වන්න මෙන්ම අධෛර්ය කරන්න මහ බැංකුව මීට වඩා දායක විය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.
ජිවිතයේ සැදෑ සමය ගෙවන විශ්‍රාමිකයන් මේ ආයතනවල මුදල් අයෝජනය කර කොතරම් අගතියට පත්ව ඇත්දැයි විනිසුරුවරයා මෙහිදි ප්‍රශ්න කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහ බැංකුවට සිදුකළ හැකි කාර්යභාර්ය හා ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කර තිබෙනවා.
එසේම, රහස් පොලිසිය මගින් දැනට පිරමීඩාකාර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සහය පල කරන ලෙසට ද මහ බැංකුවට නියෝග කර තිබෙනවා.
එමෙන්ම, පැමිණිලි වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ද අධිකරණයේ හමුවේ පෙනී සිට ඇති අතර විමර්ශනවල ප්‍රගතිය ලබන වසරේ අප්‍රේල් 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළා.