දේශීය

රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට

හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගියදා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැර මෙම නඩුව අද මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවීමටයි නියෝග කෙරුණේ.

මන්ත්‍රීවරයාගේ ජීප් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොමැති නිසා ඒ සම්බන්ධයෙන් චෝදනා අධිකරණයේ ගොනු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා, එහි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු‍ නිලධාරීන්ට එරෙහිව මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම, එම පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් ද රාජකාරි පැහැරහැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Shares: