දේශීය

ආපදාවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන්ට දෙන මූල්‍ය සහන ඉහළ නංවන්න අනුමැතිය

රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේ එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ‘RE-MSME = ආපදා සහන’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

Shares: