කාළගුණය

ගැඹුරු පීඩන අවපාතය සවස් කාලයේ ශ්‍රී ලංකා වෙරළ තීරයට

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරු-මැද පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

Shares: