වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
එම පැමිණිලිවලින්, පැමිණිලි 94ක් සම්බන්ධයෙන් මේ වනවිට කඩිනම් විමර්ශන සිදුවෙමින් පවතින අතර පැමිණිලි 95ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන් වී ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
පරිසර අමාත්‍යාංශයේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ හඳුන්වාදුන් “වනසුරැකුම – ඒකාබද්ධ මෙහෙයුම් විමර්ශන මධ්‍යස්ථානයේ” 1995 කෙටි දුරකතන අංකය ක්‍රියාත්මක කර මේ වන විට මාස දෙකක් ගතව තිබෙනවා.
මෙම පැමිණිලි ලැබී ඇත්තේ එම කාලය තුළයි.
මෙම පැමිණිලි, වනාන්තර හානි, වනජීවීන්ට සිදුකරන නීතිවිරෝධී ක්‍රියාවන්, කඩොලාන හා තෙත්බිම් ගොඩකිරීම්, වන රක්ෂිත ප්‍රදේශ හෙළි පෙහෙළි කිරීම්, වනාන්තරවල සිදු කෙරෙන විවිධ අපරාධ ඇතුළු සිද්ධීන් රැසකට අදාළව වාර්තා වනවා.
එම පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේමොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින්.
1995 කෙටි දුරකතන අංකයට ලැබී ඇති වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ පැමිණිලි පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (20) දින පරිසර අමාත්‍යාංශයේ දී, පරිසර අමාත්‍යතුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ අතර 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ, වනජීවී සහ වනාන්තරවලට සිදුවන අපරාධ පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළේ.











