දේශීය

පොලිසිය වෙත තොරතුරු ලබා දුන් අයෙක් ඝාතනය කිරීමට සැලසුම් කළ කොන්ත්‍රාත් ඝාතකයෙකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට තොරතුරු ලබාදුන් අයෙක් ඝාතනය කර ඔහුගේ හිස රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමට සැලසුම් කළ බවට සැක කෙරෙන කොන්ත්‍රාත් ඝාතකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය නිලධාරීන් විසිනි.

පසුගිය නොවැම්බර් වන12 දින කිරිඳි වෙරළේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ICE ලෙස හැඳින්වෙන ක්‍රිස්ටල් මෙත් අයිස් කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සැඟව සිටින බව කියන “අංගොඩ ප්‍රියන්ත” නමැති ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවයි. එම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පලිගැනීමේ අදහසකින් මෙය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

තොරතුරු සැපයුම්කරුවාගේ අනන්‍යතාව හඳුනාගෙන ඔහු ඝාතනය කිරීම සඳහා අපරාධ කණ්ඩායමක් හරහා කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ බවත්, එම සැලසුම පිළිබඳ විශේෂ තොරතුරු මත බස්නාහිර පළාත් උතුරු භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත් සඳහන් වනවා.

ප්‍රශ්න කිරීමේදී සැකකරු ඝාතන සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය කළ බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකය

Shares: