දේශීය

බියගමෙන් නීති විරෝධී ලෙස එකතු කළ ඩීසල් ලීටර් 19,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

බියගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී නීති විරෝධී ලෙස එකතු කර සඟවා තබාගෙන සිටි ඩීසල් විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ මෙම මෙහෙයුමේදී, නීතිවිරෝධී ලෙස එකතු කර ගබඩා කර තිබූ බවට සැක කෙරෙන ඩීසල් ලීටර් 19,060ක් රැගත් බෝසර රථ දෙකක්ද අල්ලාගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් මාර්ගයේ ගමන් කරන ලොරි, ටිපර් රථ හා පෞද්ගලික වාහනවල රියදුරන්ට මුදල් ගෙවා ඔවුන්ගේ ටැංකිවලින් ඩීසල් ගැනීමට කටයුතු කර ඇති බවයි. එම ඉන්ධන පසුව ඔවුන් සූදානම් කර තිබූ ටැංකිවල ගබඩා කර වැඩි මිලකට අලෙවි කිරීම සිදු කර තිබූ බවද සඳහන් වනවා.

මෙම වැටලීමේදී ඩීසල් ඉවත් කිරීමට භාවිත කළ මෝටර් දෙකක්, යකඩ බැරල් 16ක් සහ මෙම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ බවට සැක කෙරෙන
රුපියල් 3,81,000ක මුදලක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 20, 22, 32 සහ 42ක් වූ සැකකරුවන් හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙළුන්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ඔවුන් හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Shares: