කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිළිඳු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය පවසනවා.
ඉකුත් අගෝස්තු මස 01 වැනිදින දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබියදීයි මෙම බිලිදු මළ සිරුර හමුවුණේ.
ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිළිදු මළ සිරුර තැන්පත් කර තිබුණා.
එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
මරදාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.









