දේශීය

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කෙරෙයි

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේ දීයි.

මෙහිදී සාකච්ඡා වූයේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙනුයි.

ඉදිරියේ දී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්වුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්ම මහත්මීන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Shares: