ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මෑතක දී හමු වූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවටයි එක්සත් රාජධානිය පෙන්වා දෙන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බව ද අදාළ ප්‍රකාශය මගින් ඔහුන් පෙන්වා දී තිබෙනවා.
එක්සත් රාජධානිය පවසන්නේ ගැටුම් ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන අතර අදාළ ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බව එක්සත් රාජධානිය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් සමන්විත මූලික කණ්ඩායම ද ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කුමාර් අයියර් විසින් අදාළ ප්‍රකාශය සිදුකර ඇති අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට සිය ස්තූතිය පළකර ඇති බව වාර්තා වනවා.
ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැසි සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවර ආකාරයේ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.









