වැලිගම ප්‍රාදේශී සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා ගිනි අවිය හා යතුරුපැදිය ලබාදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඔහුට රිවොල්වරයකින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, ඝාතනය රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ, පෙරේදා පස්වරුවේ මහරගම, නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි හෙළිවූ කරුණු මතයි.
එමෙන්ම අදාළ වෙඩික්කරු, ඔහුගේ බිරිඳ, යතුරු පැදියේ පැදිකරු සහ ඔවුන්ට නවාතැන් ලබා දුන් පුද්ගලයෙකු පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවා.
ඔවුන් ප්‍රකාශ කළේ ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තුන්දෙනා ද පැය 48 ක් රඳවා ප්‍රශ්න කරන බවයි.
එසේම එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල, කැකිරාව සහ වැලිගම ප්‍රදේශවලින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 07ක්.










