ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවයි.
නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවද වසන්ත සේනාධීර සඳහන් කළා.
තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇතැයි ද පැවසු ඒ මහතා මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇතැයි සඳහන්.
තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු ඒ මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියා.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, මේ දිනවල ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මධ්‍යම පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.











