අධික වර්ෂාපතනය හමුවේ අංශක 45 ක බෑවුමකට අඩු ප්‍රදේශ වුවද නාය යෑමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති බැවින් එම ස්ථාන නැවත සිතියම් ගත කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.
සාමාන්‍යයෙන් මිලිමීටර් 100කට වඩා අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් අංශක 45 ක බෑවුම් ප්‍රදේශවල නාය යෑමේ තත්ත්වයන් ඇති විය හැකි බවත් මිලිමීටර් 500කට වඩා අධික වර්ෂාපතන ලැබෙන ප්‍රදේශවල අඩු බෑවුම් වුවද ඝණ පස් තට්ටු තිබුණද අධික වර්ෂාපතනය හේතුවෙන් නාය යෑමේ ඉඩකඩක් පවතින බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
මේ නිසා අංශක 45ක බෑවුමකට අඩු ප්‍රදේශවල සිතියම් ගත කිරීම දිස්ත්‍රික් 12ක් කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි සති දෙකක කාලය ඇතුළත ආරම්භ කරන බවත් ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ අධ්‍යනාංශයේ ශිෂ්‍යයින් සහ තවත් කණ්ඩායම් සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බවද මහාචාර්යවරයා සඳහන් කළා.
සිතියම්ගත කරන කටයුතු අවසන් වූ පසු ඒවා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදෙන බවද අංශක 45ක අඩු බෑවුම් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව අවදානම් ස්ථාන හඳුනාගෙන ඒවා ගැන ජනතාව දැනුවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් පියවර ගැනීමට අවස්ථාව හිමිවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.











