අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීමේ චෝදනාවට කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සම්පත් මනම්පේරි නැමැත්තාව නැවතත් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම බන්ධනාගාර ගතව සිටි පියල් මනම්පේරි යන සැකකරුවද එළැඹෙන ජනවාරි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් මෙම නියෝග ලබා දී තිබුණේ සැකකරුවන් අද (24) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙම නඩුවේ දෙවන සැකකරුවන සම්පත් මනම්පේරි නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ කරුණු රැසක් අනාවරණය වූ බවයි සැකකරුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්ෂක V.F.S.පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ.
එම කරුණු අනුව තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බැවින් සහ සැකකරුගෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට ඇති බැවින් ඔහුව තවත් දින 90ක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ජයලත් මහතා පවසා ඇත්තේ සම්පත් මනම්පේරි යන අය තවදුරටත් රඳවා තබාගැනීමට කරන ලද ඉල්ලීමට තමන් විරුද්ධ බවත්, ඔහුගෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල වාර්තාවක් මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම සැකකරු සන්තකයේ තිබූ වාහන තුනක් මේ වනවිට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් භාරයට ගෙන ඇති බවත්, ඒවා සැකකරු විසින් මෙම නීති විරෝධී සිද්ධීන්වලට සම්බන්ධවී උපයාගෙන ඇති ඒවා බවට මෙතෙක් සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇත්නම් එම වාර්තාවක් හෝ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
සැකකරුට එරෙහිව තවදුරටත් දින 90ක රැඳුම් නියෝගයක් ලබාදෙන්නේ නම් ඔහු පිළිබඳ සොයාබැලීමට හා ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිඥවරුන්ට සහ පවුලේ පිරිසට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙස ද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය විසින් ඉහත සඳහන් නියෝග ලබා දී තිබුණේ දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.











