දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
නව මැගසින්, වැලිකඩ, බෝගම්බර, මාතර, මහර, කුරුවිට, යාපනය, මොණරාගල, අගුණුකොලපැලැස්ස සහ මඩකලපුව යන බන්ධනාගාරවල රැඳවියනුයි මෙලෙස සිය ආහාරවේල ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත්තේ.
ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් රුපියල් 450,710ක් වටිනා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරයෙන් රුපියල් 454,630ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද බෝගම්බර බන්ධනාගාරයෙන් රුපියල් 367,949ක් වටිනා ආහාර ද්‍රව්‍ය ද පරිත්‍යාග කර තිබෙනවා.
එමෙන්ම මාතර බන්ධනාගාරයෙන් රුපියල් 105,046ක ආහාර ද්‍රව්‍ය ද, මහර බන්ධනාගාරයෙන් 386,010 ආහාර ද්‍රව්‍ය ද, කුරුවිට බන්ධනාගාරයෙන් රුපියල් 195,150ක් වටිනා ආහාර ද්‍රව්‍යයයි මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ.
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 258,612ක් වන අතර මොණරාගල බන්ධනාගාරයෙන් රුපියල් 96,471ක, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් රුපියල් 540,679ක සහ මඩකලපුව බන්ධනාගාරයෙන් රුපියල් 209,224ක ආහාර ද්‍රව්‍ය මෙලෙස ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.











