සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව අද (12) අලුයම වනවිට 500 ඉක්මවන බව මානව හිමිකම් සංවිධානය පවසනවා.
මියගිය පුද්ගලයන්ගෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක නිලධාරීන් 48කටද දිවි අහිමිවී ඇති බවයි මාධ්‍ය වාර්තා දක්වන්නේ.
එරට රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බවයි.
රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවයි ටෙහෙරාන් හි රෝහල් ආරංචිමාර්ග BBC මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
ඉන් බොහෝ දෙනෙකුගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව එහි සඳහන්.
අධික රෝගී තදබදය හේතුවෙන් රැගෙන එන රෝගීන්ට මූලික ප්‍රතිකාර පවා ලබාදීමට කාලය නොමැති අතර, ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාර ද මේ වනවිට පිරි පවතින බවද එම වාර්තාවල දැක්වෙනවා.
එමෙන්ම විරෝධතා පාලනය කිරිමේ අරමුණින් රජය දියත් කළ අන්තර්ජාල සැපයුම් කප්පාදුව තවදුරටත් ක්රියාත්මකවයි පවතින්නේ.
මෙම විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 10,600කට අධික වනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා තිබූ ‘ඉරානයේ මහජන විරෝධතාවට අමෙරිකාව උදව් කිරීමට සූදානමින්’ ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන් පවසන්නේ, අමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඊට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකානු කඳවුරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
ඉරාන පාර්ලිමේන්තු කථානායක ඉරානයේ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක බලකායේ හිටපු අණ දෙන නිලධාරියෙකු වන මොහොමඩ් බාකර් කලීබාෆ් වොෂින්ටනයට අනතුරු අඟවා ඇත්තේ,
“අපි පැහැදිලිව කියමු: ඉරානයට ප්‍රහාරයක් එල්ල වුවහොත්, අල්ලා ගත් ප්‍රදේශ (ඊශ්‍රායලය) මෙන්ම සියලුම එක්සත් ජනපද කඳවුරු සහ නැව් අපගේ නීත්‍යානුකූල ඉලක්කය වනු ඇත,” යනුවෙන්.
කෙසේ නමුත් ඉරානය සඳහා විකල්ප සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් අඟහරුවාදා ජ්‍යේෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිතව සිටි බව එක්සත් ජනපද නිලධාරියෙක් මාධ්‍යට පවසා තිබූ අතර හමුදා ප්‍රහාර, රහස් සයිබර් අවි භාවිතා කිරීම, සම්බාධක පුළුල් කිරීම සහ රාජ්‍ය විරෝධී මූලාශ්‍රවලට මාර්ගගත සහාය ලබා දීම එම විකල්ප අතරට ඇතුළත් බව සඳහන්.











