විදෙස්

ඉරානය සමග ගනුදෙනු කරන රටවලට ට්‍රම්ප් 25%ක බද්දක් පනවයි

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, මෙම බදු පැනවීම “ක්ෂණිකව ක්‍රියාත්මක වන” බවයි.

“ඉරාන ඉස්ලාමීය ජනරජය සමග ව්‍යාපාර කරන ඕනෑම රටක්, අමෙරිකා එක්සත් ජනපදය සමග සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25ක බද්දක් ගෙවිය යුතුය,” යනුවෙනුයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම නියෝගය “අවසන් සහ තීරණාත්මක” එකක් බවයි.

ඉරාන භාණ්ඩ සඳහා ඉහළම අපනයන ගමනාන්ත අතරට චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ඇතුළත්.

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුවයි නව තීරුබදු පැනවීම සිදුකර ඇත්තේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීනය පැවසුවේ “ඕනෑම නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක සහ දිගු ආයුධ (long-arm) අධිකරණ බලයට විරුද්ධ බවත්, එහි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා” බවයි.

“විචක්ෂණශීලීව තීරුබදු පැනවීමට එරෙහිව චීනයේ ස්ථාවරය ස්ථාවර සහ පැහැදිලියි,” “තීරුබදු යුද්ධ සහ වෙළඳ යුද්ධවලට ජයග්‍රාහකයින් නොමැති අතර, බලහත්කාරය සහ පීඩනය මගින් ගැටළු විසඳිය නොහැක.” යනුවෙනුයි වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට සති තුනක පමණ කාලයක සිට ඉරානය පුරා පැතිර යන රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීමට ටෙහෙරාන් පාලනය ගන්නා උත්සාහයන්ට එරෙහිව පීඩනය වැඩි කිරීම අමෙරිකාව ගත් මෙම පියවරේ අරමුණ බවයි.

පසුගිය වසරේ ඇමරිකානු මිත්‍ර ඊශ්‍රායලය සමඟ දින 12ක යුද්ධයක් පැවති සහ ජුනි මාසයේදී ඇමරිකානු හමුදාව එහි න්‍යෂ්ටික පහසුකම්වලට බෝම්බ හෙලූ ඉරානය, වසර ගණනාවකට පසු එහි විශාලතම රාජ්‍ය විරෝධී විරෝධතා අත්විඳිමින් සිටිනවා.

Shares: