දේශීය

අල්ලස් චෝදනාවලට පසුගිය වසරේදී පුද්ගලයින් 84ක් අත්අඩංගුවට අරන්

‍අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පුද්ගලයින් 84දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

2025 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් 130ක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

එම අත්අඩංගුවට ගැනීම් අතරින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියෙන් වන අතර එම සංඛ්‍යාව 30ක්.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් 13 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 9 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළත්.

පොලිසියට අමතරව අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධිත ආයතනවල පුද්ගලයින් 11 දෙනෙකු, ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු සහ ප්‍රාදේශීය සභාවල නිලධාරීන් තිදෙනෙකු ද අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම 2025 වර්ෂය තුළ වැටලීම් මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් හැර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් සිදුකළ පරීක්ෂණවලට අදාළව පුද්ගලයින් 56දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, වෛද්‍යවරුන්, ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සිටින බවයි.

ඊට අමතරව 2025 වර්ෂයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුද්ගලයින් 153දෙනෙකුට එරෙහිව නඩු පැවරීම් 115ක් සිදු කර ඇති අතර අවසන් කර තිබෙන නඩු කටයුතු ගණන 69ක්.

2025 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31වන දින දක්වා කාලය තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 8,409ක් ලැබී ඇති අතර එම පැමිණිලි අතරින් පැමිණිලි 569ක විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කියා සිටියේ රාජ්‍ය සේවය තුළ ඇති අල්ලස හා දූෂණය තුරන් කිරීමට සියලු දෙනාට වගකීම් පැවරී ඇති බවයි.

පසුගියදා පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ උත්සවයකට එක්වෙමින් රංග දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

Shares: