විදෙස්

18කට දිවි අහිමි කළ ඉන්දියාවේ පතල් අනතුර

ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම එම සිදුවීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ කොපමණ සේවකයින් සිටියාද යන්න පැහැදිලි නැහැ.

එහිදී කම්කරුවන් පිළිස්සුම් තුවාල හේතුවෙන් හෝ විෂ සහිත දුම් පිටවීම නිසා හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් මිය යන්නට ඇති බවටද සැක කෙරෙනවා.

මෙම නිතිවිරෝධී පතල ප්‍රාන්ත අගනුවර වන ෂිලොන්ග් සිට කිලෝමිටර් 72ක් දුරින් පිහිටි වනාන්තර ප්‍රදේශයකයි පිහිටා ඇත්තේ.

මාධ්‍ය වාර්තා මෙම පතල හඳුන්වා ඇත්තේ ගල් අඟුරු සහ අනෙකුත් ඛනිජ නිස්සාරණය කිරීම සඳහා කම්කරුවන්ට අනතුරුදායක තත්වයන් අවදානමට ලක් කරන ගැඹුරු, පටු වළක් ලෙසයි.

කෙසේ නමුත් මෙම පතල ක්‍රියාත්මක කළ පුද්ගලයින් මෙතෙක් ඉන්දිය පොලීසිය විසින් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව ඉන්දිය පොලීසිය සඳහන් කර තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සහ මූල්‍යාධාරයක් පිරි නැමීමටයි තීරණය කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ දැඩි පාරිසරික හානිය, භූගත ජලය දූෂණය වීම සහ මිනිස් ජීවිතයට බරපතළ අවදානම් ඇති බැවින් ඉන්දීය ජාතික හරිත විනිශ්චය සභාව විසින් 2014දී මේඝාලයේ මෙම නීති විරෝධී කැණීම් තහනම් කර ඇති බවයි.

කෙසේ නමුත් තහනම නොතකා බොහෝ ප්‍රදේශවල මෙම නීති විරෝධි කැණීම් සිදුව ඇති අතර මේ හේතුවෙන් මාරාන්තික අනතුරු කිහිපයක්ද පසුගිය කාලය තුළ වාර්තා වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Shares: