ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩිතැබීමකින් මියගොස් තිබෙනවා.
ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා මෙම මරණය පිළිබඳව ඊයේ (03) තහවුරු කර ඇති බවයි ලිබියානු ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.
මියයන විට ඔහු 53 වන වියේ පසුවුණා.
මාධ්‍ය වාර්තා දක්වන්නේ සින්තාන් (Zintan) නගරයේ පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුණු පුද්ගලයින් හතර දෙනෙකුගෙන් සමන්විත කොමන්ඩෝ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රහාරයට වගකිවයුත්තන් කවුරුන්ද යන්න මේ දක්වා අනාවරණය වී නැහැ .
මේ අතර, සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ලිබියාව සහ ඇල්ජීරියාව අතර දේශසීමා ආසන්න ප්‍රදේශයකදී මියගොස් ඇති බව ඔහුගේ සොහොයුරිය ලිබියානු නාලිකාවකට ප්‍රකාශ කර තිබෙනවා.
මළ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඔහු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවටයි තහවුරු කර ඇත්තේ.
කෙසේ වෙතත් එරට නීතිපති කාර්යාලය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස කලක් සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම්, ගඩාෆි පාලනය බිඳ වැටෙන තෙක් ලිබියාව බටහිර රටවල් සමඟ ඇති කර ගත් සබඳතාවයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ 2000 වසරේ සිටයි.
බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට ඔහු ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ නමුත්, 2011 කැරැල්ලේදී විරෝධතාකරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවා.
එමෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, 2015 දී ට්‍රිපොලි අධිකරණයක් විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණු බවද මාධ්‍ය වාර්තාවල සඳහන්.
එහිදී වසර කිහිපයක් සිරගතව සිටි ඔහු 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලැබුවා.











