කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අමාත්‍ය වසන්ත සමරසිංහ අගෝස්තු 21 දින කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබාදී තිබුණ ද, එම ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව විමර්ශන අවසන් කිරීමට පෙරම අදාල නඩුවේ ගොනුව නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බව අනාවරණය වී තිබේ.
අගෝස්තු 22 දින අධිකරණයේ පැවති නඩු වාරයේදී වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, විමර්ශනයට අදාල සියලු ප්‍රකාශ සටහන් කර අවසන් කර ඇති බවයි. එමෙන්ම 2020 වසරේ නැෂනල් වර්කර්ස් කොංග්රස් වෘත්තීය සමිතියේ මහ සභාවේදී ගත් විධායක කමිටු තීරණයක් මත බදු දීමනාකරු ලෙස තමන් කටයුතු කළ බවට වසන්ත සමරසිංහ විසින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, නඩුව ගොනු කිරීමෙන් පසු අවස්ථා දෙකකදී අධිකරණය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොවූ බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පෙන්වා දී ඇත. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යනුකූල නිලධාරීන් සිටියදී අදාල දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ බලය වසන්ත සමරසිංහට නොමැති බවයි.
මෙම නඩුව ගොනු වී ඇත්තේ, නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කර ඇති බවට ඇති චෝදනාවක් මතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇත.











