දකුණු ලෙබනනයේ කෆර්හටා ගම්මානයට ඉස්රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 4 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
එමෙන්ම බේරූට් නගරයේ ජ්නාහ් ප්‍රදේශය ඉලක්ක කරගත් තවත් ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 39 දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා.
පාස්කු ඉරිදා දිනය සැමරූ ලෙබනන් කතෝලික ජනතාව ට, මේ වසරේ එය වඩාත්ම අඳුරු හා විනාශකාරී දිනවලින් එකක් වී ඇති අතර, නගර පුරා ගුවන් ප්‍රහාර සහ පහළින් පියාසර කරන යානා හඬින් බියජනක වාතාවරණයක් පැවතූන බව වාර්තා වනවා.
මෙම ගැටුම් අතරතුර, දකුණු ලෙබනනයේ ඉස්රායල ප්‍රහාරයකින් ලෙබනන් හමුදා සාමාජිකයෙකු ද මියගොස් ඇති අතර, සීමා ප්‍රදේශවලින් ජනතාව ඉවත් වීමට දැනුම් දී තිබෙනවා.
මෙම යුධ තත්ත්වය ආරම්භ වූයේ ඉරානයට සහාය දක්වන හෙස්බොලා සංවිධානය විසින් ඉස්රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. එයට ප්‍රතිචාර ලෙස ඉස්රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩිව වැඩිවී ඇති අතර, දකුණු ප්‍රදේශවලට ආක්‍රමණය කිරීමත් සිදුකර තිබෙනවා.
මේ වන විට, 1,400 කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ලක්ෂයකට අධික ජනතාව අවතැන් වී තිබෙනවා. හෙස්බොලා සටන්කාමීන් 400 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
එමෙන්ම, ඉස්රායලය ලෙබනන් භූමියේ කිලෝමීටර් 30ක් පමණ ගැඹුරට “ආරක්ෂිත කලාපයක්” පිහිටුවීමට සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.
තවදුරටත් උත්සන්න වන මෙම ගැටුම, මැද පෙරදිග ප්‍රදේශයේ සාමය පිළිබඳ දැඩි ප්‍රශ්නයක් මතුකරමින් පවතීනවා.











