දේශීය

මහවැලි ගඟේ දි නෑමට ගිය සහෝදරයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදහන්

සෙරුණුවර, සෝමාවතිය රක්ෂිතය හරහා ගලායන මහවැලි ගඟේ දි නෑමට ගිය සහෝදරයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වූ හද කම්පා කරවන සිදුවීමක් ඊයේ (14) සවස වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 24, 34 සහ 35 වන මෙම සහෝදරයන් තිදෙනා මහින්දපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් පියා සහ අනෙක් සහෝදරයෙකු සමඟ ගඟට බැස නාන අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකා නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් සහ සෙරුණුවර පොලිසියේ නිලධාරීන් විසින් අතුරුදහන් වූ දේහ සොයා ගැනීමට සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් සිටිනවා. මෙය ඊයෙ දින වාර්තා වූ දෙවන දියේ ගිලීමයි.

අනෙක වාර්තා වන්නේ, හබරාදූව වෙරළ තීරයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවටයි.

වයස අවුරුදු 21 සහ 26 වන මෙම තරුණයන් කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, විනෝද ගමනක් සඳහා පැමිණි අවස්ථාවේ වෙරළේ නාන අතරතුර මෙම අනතුරට ලක්ව තිබෙනවා.

ඔවුන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහලට ඇතුළත් කළද, ඇතුළත් කිරීමේදී වෛද්‍යවරුන් විසින් මරණය තහවුරු කර තිබෙනවා.

මේ අවුරුදු නිවාඩු දින වල නෑගම් හෝ විනෝද චාරිකා වලදී දිය නෑම් වැනි කටයුතු වලදී ආරක්ෂාව ප්‍රමුඛ කරගන්න. විශේෂයෙන්, ගඟවල් සහ මුහුදු තීරයන්හි ප්‍රවාහය / ජලයේ වේගය සහ මට්ටම පිළිබද අවබෝධයක් තබා ගන්න, අනතුරු ඇඟවීම් නොසලකා නොහරින්න, ජීවිතාරක්ෂක උපදෙස් අනුගමනය කරන්න.

Shares: