දේශීය

ඊයේ දින වාර්තා වූ තවත් හද කම්පා කරවන අපරාධ මාලාවක්

ඊයේ (14) දිනයේ දී වැල්ලවාය, පයගල සහ අනුරාධපුර ප්‍රදේශවලින් මිනීමැරුම් සිද්ධි කිහිපයක් වාර්තා වී තිබෙනවා.

වැල්ලවාය – තරුණ කාන්තාවගේ ඝාතනය

වැල්ලවාය, නෙටොලගම ප්‍රදේශයේ වයස අවුරුදු 32ක කාන්තාවක් ඊයේ සවස කඩුවකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ස්ථානයට පැමිණි නිලධාරීන් ඇය රෝහලට රැගෙන ගියද, ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශන අනුව, මෙම ඝාතනය ඇය සහ ඇගේ පෙම්වතා අතර පැවති පුද්ගලික වාදයක් මත සිදුව ඇති බව හෙළිවී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

පයගල – නව අවුරුදු සාදයක ගැටුමක්
පයගල, විහාරකන්ද ප්‍රදේශයේ නිවසක පැවති නව අවුරුදු සාදයක් අතරතුර ඇති වූ වාදයක් දුරදිග යෑමෙන් ගැටුමකට පෙරලී, වයස අවුරුදු 46ක පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

ඔහුට ලී පොල්ලකින් හිසට දැඩි ලෙස පහර දීමෙන් බරපතල තුවාල සිදුවී ඇති අතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඔහු මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පයගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර – හඳුනා නොගත් මළ සිරුරක්

අනුරාධපුර නුවර වැවෙන් හඳුනා නොගත් පුරුෂයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සොයාගැනීම සිදුකර ඇති අතර, මළ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශාලාවේ තබා තිබෙනවා.
මරණය පිළිබඳ හේතු සහ පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අවුරුදු දිනවල බීමතින් ආරවුල් දුරදිගයාම , කෝපය සහ හදිසි තීරණ ජීවිත විනාශ කරයි.
මේ දිනවල අවුරුදු සාද උත්සව අවස්ථාවලදි සන්සුන්ව කටයුතු කිරීම ජීවිත රැකගැනීමට සහ ආරක්ෂාව ට වැදගත්.

Shares: