ඉදිරි දින කිහිපය තුළත් වැසි තත්ත්වය දිගටම
ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ මට්ටමේ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළද තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සදහන් වන්නේ.
මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි ප්‍රදේශ
විශේෂයෙන්, බස්නාහිර පළාත, සබරගමුව පළාත, මධ්‍යම පළාත, ඌව පළාත, වයඹ පළාත, උතුරු මැද පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, මන්නාරම දිස්ත්‍රික්කය යන ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇද හැලිය හැකි බව අනාවැකි පළ කර තිබෙනවා.
උදෑසනත් වැසි
බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ පෙන්වා දී තිබෙනවා.
මේ අතර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරනු ඇත.
අකුණු සහ තද සුළං ගැන අවධානයෙන් සිටින්න
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තද සුළං සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින්, ජනතාව ප්‍රමාණවත් ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා.
විශේෂයෙන්, ගස් යට රැඳී නොසිටින්න, විවෘත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වළකින්න, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන්න, ගංවතුර අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සිටින්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග අනතුරු, ගංවතුර සහ නායයෑම් අවදානම්ද ඉහළ යා හැකි බැවින්, නිල කාලගුණ නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.











