දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තාරකාවක් ලෙස ලෝකයම හඳුනන ජෝෂප් විජෙයි, ඊයේ තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා.
දේශපාලන නායකයන්, ආධාරකරුවන් සහ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූ උත්සවයේ දී TVK (Tamilaga Vettri Kazhagam) නායක විජෙයි, තමිල්නාඩු මහ ඇමති ධුරයේ නිල වශයෙන් දිවුරුම් දුන් අතර, TVK පක්ෂයේ තවත් අමාත්‍යවරුන් අට දෙනෙකුද එහිදී දිවුරුම් දී තිබෙනවා.
මෙම ආණ්ඩුව පිහිටුවීම සඳහා කොංග්‍රසය, CPI, CPI(M), VCK සහ IUML යන පක්ෂ ලබා දුන් සහය තීරණාත්මක වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසා තිබෙනවා.
එමෙන්ම, ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ද මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද විජෙයිට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබෙනවා.
දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව අමතමින් විජෙයි කළ කතාව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.
ඔහු පැවසුවේ, “මමත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිසෙක්. අරක දෙනවා, මේක දෙනවා කියලා මම ඔබලාව රවට්ටන්නේ නැහැ. කළ හැක්කේ කුමක්ද, එය පමණක් මම කරනවා”යනුවෙනි.
තමිල්නාඩුව සම්බන්ධයෙන් තීරණ ගන්නා ආකාරය පිළිබඳවද ඔහු විනිවිදභාවය පිළිබඳ අවධාරණය කර තිබෙනවා.
“මට කිසිවෙකු හෝ මුණගැසීමට අවශ්‍ය නම්, මුහුණ වසාගෙන හෝ හොර රහසේ මම හමුවීම් කරන්නේ නැහැ. ඕනෑම දෙයක් විනිවිදභාවයකින් යුතුව සිදුකරනවා.”
යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
“මහජන මුදලින් සතයකටවත් අත තියන්නේ නැහැ”
විජෙයිගේ කතාවේ වැඩිම අවධානය දිනාගත් කොටස වූයේ දූෂණයට එරෙහි ඔහුගේ ස්ථාවරයයි.
“මහජන මුදලින් සතයකටවත් මම අත තියන්නේ නැහැ. ‘අපි දිනුවා, දැන් ඕනෑ දෙයක් කරන්න පුළුවන්’ කියන සිතුවිල්ලක් කාට හරි තියෙනවා නම්, ඒක දැන්ම නැතිකර දමන්න.”
යනුවෙන් ඔහු දැඩි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ජනතාවගෙන් ඉවසීම සහ සහය ඉල්ලා සිටිමින්, “ඔබ මට ලොකු වගකීමක් ලබා දීලා තියනවා. ඒ සඳහා මට කාලය දෙන්න.”
යනුවෙන්ද සඳහන් කර තිබෙනවා.
“එන්න… එක්ව යහපත් පාලනයක් ගොඩනගමු”
සිය කතාව අවසන් කරමින් විජෙයි පැවසුවේ, “මෙය නව ආරම්භයක්. එන්න… අපි සැවොම එක්ව යහපත් පාලනයක් ගෙන යමු.” යනුවෙනි.
සිනමා තිරයේ වීරයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්වූ විජෙයි, දැන් දේශපාලන වේදිකාවේද ජනතා බලාපොරොත්තු රැගෙන ඉදිරියට යමින් සිටින අතර, ඔහුගේ මෙම නව ගමන ඉන්දීය දේශපාලනයේ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.











