දේශීය

අධික වැසි හේතුවෙන් තෙලිජ්ජාවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට අද නිවාඩු

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ නායයෑම් සහ පස් කඳු කඩා වැටීමේ අවදානම ඉහළ යාම හේතුවෙන් අද (13) දින තෙලිජ්ජාවිල රාජකීය විද්‍යාලයේ තෝරාගත් ශ්‍රේණි කිහිපයකට නිවාඩු ලබාදී තිබෙනවා.

විදුහල්පතිවරයා සඳහන් කළේ, සිසුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් 6, 7, 8, 9 ශ්‍රේණි සහ උසස් පෙළ පන්ති සඳහා අද දිනයේ අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, 10 සහ 11 ශ්‍රේණිවලටත්, ප්‍රාථමික අංශයේ පන්තිවලටත් සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු පැවැත්වෙන බවද තහවුරු කර තිබෙනවා.

මේ අතර, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අවට ප්‍රදේශවලටත්, නිල්වලා ගඟේ ජල පෝෂක ප්‍රදේශ වන දෙණියාය සහ සිංහරාජ වන රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවලටත් අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතින බව වාර්තා වනවා.

අඛණ්ඩ වැසි තත්ත්වයත් සමඟ පිටබැද්දර සහ අකුරැස්ස ප්‍රදේශවලින් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවද නිරීක්ෂණය වී තිබෙනවා.

ගංගා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටිනවා.

Shares: