දේශීය

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැරගැනීමට උත්සාහ කළ ඥාතීන් දෙදෙනෙක් අත්අඩංගුවට

තරුණියක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට ඥාතීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය අනාවරණය කර තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සඳහා භාවිත කළ බව කියන මෝටර් රථය සහ සෙල්ලම් පිස්තෝලයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් තොරතුරු අනුව, මෙම සිද්ධිය පසුගිය මැයි 07 වැනිදා මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රදේශයේ නිවසකදී සිදුව තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා නිවසට ඇතුළු වී තරුණියට සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇය පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු මැදිහත්වීමත් සමඟ සැකකරුවන් එම උත්සාහය අසාර්ථක වී මෝටර් රථයකින් පලා ගොස් ඇති බව සඳහන් වනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් භාවිත කළ බව කියන මෝටර් රථය සහ සෙල්ලම් පිස්තෝලයද සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය දෙපාර්ශවය අතර පැවති පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට විමර්ශකයින් අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි.

Shares: