පාතාල ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දිවයින පුරා දැඩි අවධානයක් දිනාගත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් වැදගත් පෙරළියක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය විසින් “ගම්පහ ඔස්මන්ඩ්” ලෙස ප්‍රකට ඔස්මන්ඩ් ගුණසේකර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සඳහා ආධාර සහ අනුබල ලබාදීමයි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතරතුර විදේශ රටක නිෂ්පාදිත රිපීටර් ෂොට්ගන් ගිනිඅවියක්, එයට අදාළ මැගසින් දෙකක් සහ ජීව පතොරම් 10 ක් ද සොයාගෙන ඇති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය පිටුපස පැවති බව කියන සංවිධානාත්මක ජාලය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවීමට ඉඩ ඇති බව ආරක්ෂක අංශ විශ්වාස පළ කරනවා.
පසුගිය කාලය පුරාම දිවයිනේ පාතාල ක්‍රියාකාරකම්, කොන්ත්‍රාත් ඝාතන සහ නීතිවිරෝධී ගිනිඅවි ජාවාරම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි අතර, මෙම අත්අඩංගුවට ගැනීම එහි තවත් විශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර, සැකකරුගෙන් ලබාගන්නා තොරතුරු මත තවත් පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පුළුල් කළ හැකි බවයි.











