දේශීය

අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි බාලවයස්කාර දැරිය අපයෝජන නඩුව යළි මැයි 22 දා

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන මැයි 22 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් යටතේ සිටින බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී නිට්ටඹුව පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති අතර නීතිපති උපදෙස් සඳහා ලිපිගොනු යොමු කර ඇති බවයි.

මේ අතර, වින්දිත බාලවයස්කාර දැරියගේ මවට එරෙහිවද බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා. සිය දියණිය සැකකාර හිමියන් වෙත චේතාන්විතව මුදලට ලබාදුන් බවට චෝදනා මත ඇය රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඇය ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අධිකරණය නියෝග කළේ ඇයද මැයි 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද නිවේදනය කර තිබෙනවා.

විශේෂ අවධානයට ලක්වූ කරුණක් වූයේ, වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු හෝ බාහිර පාර්ශ්වයක් අධිකරණයේ පෙනී නොසිටීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ විශාල සංවාදයක් මතුව ඇති අතර, ළමා ආරක්ෂාව, ආගමික බලය සහ නීතියේ සාධාරණත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

 

Shares: