දකුණු ඇමරිකාවට අද දින රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල මාර්ගයක් වන ඩ්‍රේක් සානුවෙහි ද කම්පන වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ එමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි.
නමුත් ඩ්‍රේක් පැසේජ් හි ඇති වූ භූමිකම්පාවෙන් ඉදිරි පැය තුන තුළ චිලී වෙරළ තීරයේ අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවටයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) චිලී සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ.
දකුණු ඇමරිකාවේ කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාවේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් අතර පිහිටා ඇති ඩ්‍රේක් පැසේජ්, නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොනදිග පැසිෆික් සාගර සම්බන්ධ කරන ගැඹුරු සහ පළල් ජල මාර්ගයක් වනවා.
මීට පෙර, භූමිකම්පාව 8.0 ක ප්‍රබලතාවකින් වාර්තා වූ නමුත්, පසුව එය 7.5 දක්වා පහත හෙළා තිබුණේ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයයි.
එමගින් සිදුවූ හානි පිළිබඳ වාර්තා තවමත් ලැබී නැහැ.
මේ අතර, භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCS) පැවසුවේ භූමිකම්පාව උදෑසන 7:46 (IST) ට කිලෝමීටර් 36 ක් ගැඹුරට සිදු වූ බවයි.
ජූලි 30 වන දින අලුයම, රුසියාවේ ඈත පෙරදිගට වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවක් ඇති වූ අතර, එමඟින් ජපානයේ සහ ඇලස්කාවේ වෙරළට සුනාමි රළ ගසාගෙන ගොස් තිබුණා.
එහිදී එරට බලධාරීන් ඉල්ලා සිටියේ පැසිෆික් සාගරය අවට ජනතාව අවදියෙන් සිටින ලෙස හෝ උස් බිම්වලට යන ලෙසයි.
රික්ටර් මාපකයේ 8.8 ක අගයක් ගත් මෙම භූ කම්පනය හේතුවෙන් හවායි, උතුරු සහ මධ්‍යම ඇමරිකාව සහ නවසීලන්තය දෙසට දකුණින් පිහිටි පැසිෆික් දූපත් වලට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පෙළඹවූ අතර, සුනාමි අවදානම දිනකට වඩා වැඩි කාලයක් පැවතිය හැකි බවට නිලධාරීන් අනතුරු ඇඟවූවා.











