සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තිය රටින් පලාගොස් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි.
ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමිනුයි සිටින්නේ.
ඔවුන් අතරින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා මේ වනවිට රඳවා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේයි.
ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ කොළඹ වරාය පොලිසිය තුළ රැඳවුම් භාරයේ පසු වනවා.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය වී ඇත්තේ එම පිරිසගෙන් මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීයි.
අදාළ ඝාතනයට ආධාර අනුබලදුන් ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව එම ඝාතන සිදුවීමෙන් පසු විදේශ රටකට පලාගිය බවයි එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ වූ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 28ක් ද ඉන්දුනීසියානු පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
පසුව අදාළ ජංගම දුරකථන ශ්‍රී ලංකා පොලිසියට භාරදීමට ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති අතර ඒවා භාවිතයෙන් ලබාගත් දුරකතන ඇමතුම් පිළිබඳව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.











