දේශීය

නාඳුනන යාචකයාගේ ඝාතනයට තවත් යාචකයෙක් අත්අඩංගුවට

දෙහිවල මෙල්ෆර්ඩ් ක්‍රෙසන්ට්හි අඩක් වැඩ නිම කර අත්හැර දමන ලද පස්මහල් ගොඩනැගිල්ලක් තුළ මියගොස් සිටි නාඳුනන යාචකයාගේ මරණය ගෙළ මිරිකා සිදු ව තිබු ඝාතනයක් බව අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී තවත් යාචකයකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ කුඩා දරුවකු හිටි හැටියේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දරුවාගේ පියා දරුවා සොයමින් සිටියදී මෙම පාළු ගොඩනැගිල්ලේ තිබී යාචකයාගේ මළ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබුණේ ඉකුත් මැයි මස 10 වෙනිදිනයි.

ඒ වන විටත් මළ සිරුර හඳුනාගත නොහැකි ආකාරයෙන් නරක් වි තිබූ අතර සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරුව ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මවක සහ පුතකු පැමිණ මළ සිරුර හඳුනාගැනීමට උත්සාහ දරුවද හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා.

අදාළ මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය මාස තුනකට පසු සිදු කිරීමෙන් අනතුරුව මරණය ගෙල මිරිකා සිදුකළ ඝාතනයක් බවටයි අනාවරණය වුණේ.

එහිදී කළ පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ, මියගිය යාචකයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මෙම පාළු ගොඩනැගිල්ලට පැමිණෙන බවයි.

තවත් යාචකයකුද ඒ අකාරයෙන්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට මෙම ස්ථානයට පැමිණීමේ දී දෙදෙනා අතර ස්ථානය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් බහින්බස්වීමකින් අනතුරුව ගෙල මිරිකා තල්ලු කර එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ එම සිද්ධිය තවත් යාචක කාන්තාවක්ද දැක තිබූ බවයි.

මියගොස් සිටි යාචකයා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවකු ලෙස කලකට ඉහතදී සේවය කළ අයෙක් බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය යාචකයා කාගේ කවුද යන්න හඳුනා ගැනීම සඳහා ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Shares: