දේශීය

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් රත්නපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධුරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපිය නිකුත් කරනු ලැබීමෙන් අනතුරුවයි.

ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද දින දහවල් 12ට අත්හිටුවීමට තීරණය කරන ලද බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ටද බලපෑම් ඇති කරන බව පවසමින් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස එම රෝහලේ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

Shares: