දේශීය

මහින්දානන්දට හා නලින්ට එරෙහි නඩුව ලබන මාසයට කල් යයි

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (04) දින නියම කළා.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේ දී සිරදඬුවම් නියමවී බන්ධනාගාර ගතවී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කළේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින්.

විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණය ඉදිරිපත් කළ යුතු බවයි ඒ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසූවේ.

නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළා.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ.

ඉන් අනතුරුව විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කළේ මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Shares: