සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
එමෙන්ම ඔහු සඳහන් කරන්නේ සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජයට මනුෂත්වය සහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට රජය දරන වෑයමේදී, රජය හා ඒ ගමනට එක්ව සිටින සැමට නබි නායකතුමන්ගේ සැබෑ ජීවනාදර්ශය ජීවිතවලට සමීප කර ගනිමින් මෙවර මිලාද් – උන් – නබි සැමරුම වඩා අර්ථවත් කර ගැනීමට ආරාධනා කරන බවයි.











