පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේ දී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නා.
එම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර තිබූ අතර, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසකුයි එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සමකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි.
අදාළ විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කර තිබෙනවා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර තිබෙන බවයි පැවසුවේ.
එහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
පෙත්සම්කරු වැඩිදුරටත් කියා ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත්, එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවයි.
ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.
සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදුකරන බව පෙන්වාදෙන පෙත්සම්කරු, එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.











