දේශීය

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ තනතුරට තෝරාපත් කර ගැනීමේදී විවිධ පාර්ශ්ව තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සඳහන් කරති.

මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතු වෙන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණක් බව ද උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මේ බව සදහන් වන්නේ අද (17) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන නාහිමි විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයකයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් ‍වෙනවා.

“සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරධුර වගකීම හිමිවන දියවඩන නිලමේ ධුරයේ කටයුතු මල්වතු – අස්ගිරි උභය මහාවිහාරිය ශ්‍රීමක් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයෙකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සැබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.

1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10 ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියවඩන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී. ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත.

තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි.

ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික බෞද්ධ සිද්ධස්ථාන හා සැබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමගියට හේතු වන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දින වල බහුල වශයෙන් දැකිය හැකිය.

මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතු වෙන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.

ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාරදුර වගකීම් පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. එකී කාර්ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.

පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාල සීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්‍ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය. බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලුම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.”

Shares: