අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළා.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත්තේ අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බවයි.
මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දෙනු ලැබුවා.
එහිදී මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා තීරණය කළේ නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමටයි.
2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.











