දේශීය

උපාලි පන්නිලගේට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

එම පෙත්සම අද (29) කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි.

එහිදී පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා කැඳවන ලෙසයි නියම කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත් කෙරුණු බවයි.

මෙම පත්කිරීම සිදුකරන අවස්ථාවේ දී උපාලි පන්නිලගේ මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

එම තත්ත්වය මැතිවරණ නීතියට පටහැනි බැවින් උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Shares: