හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 24 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළා.
ඒ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සමයි.
එම පෙත්සම අද (29) අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.
එහිදී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වන දා කැඳවන ලෙස නියම කළා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණේ.
එම අධි චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතුකළ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.
ඒ අනුව කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාටලී චම්පික රණවක මහතා විසිනුයි අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.











