දේශීය

ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බලන්නැයි ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම්

ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින්.

විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදීයි මෙම හමුව පැවැත්වූයේ.

ඊට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙ‍ෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙ‍ෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI) සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව මෙය සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පෙන්වා දී ඇත්තේ ජාතික ඩිජිටල්කරණය ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රජයේ උපායමාර්ගික මුලපිරීම් පිළිබඳවයි.

එහිදී දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) වැනි ක්ෂේත්‍රවල වර්ධනය සඳහා පවතින අවස්ථා පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් මෙහිදී පැහැදිලි කර ඇත්තේ ජපන් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය දී ඇති ප්‍රධාන අංශ වන නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳවයි.

එමඟින් ශක්තිමත් ප්‍රතිපත්තිමය සහාය සහ විධිමත් ක්‍රියාවලීන් හරහා ආයෝජන අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාවේ සූදානමයි අවධාරණය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් සහ ජපන් ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් අතර කේන්ද්‍රීය ජාලකරණ සැසියක්ද මීට සමගාමීව පැවැත් වූ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ JETRO හි සභාපති ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහිදී JETRO හි සභාපතිවරයා මෙහිදී නැවත තහවුරු කළේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාවය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර පාලමක් ලෙස කටයුතු කිරීමට ඇති කැපවීම පිළිබඳවයි.

Shares: