දේශීය

ව්‍යාජ අත්සන් සහිත හොර ලිපියක් හැදූ වෛද්‍යවරියකට එරෙහිව විමර්ශන

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහකාර ලේඛකාධිකාරිවරිය විසින් සත්‍ය පිටපතක් බවට සහතික කර නීත්‍යානුකූලව නිකුත් කරන ලද මාණ්ඩලික සහතිකකරණ ලිපියකට එම ලේඛකාධිකාරිවරියගේ ව්‍යාජ අත්සන් හා නිල මුද්‍රාව යොදා කූඨ ලේඛනයක් ලෙස සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යැවූ බව කියන එම පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා වෙත අද (02) දැන්වූවා.

එම වෛද්‍ය විද්‍යාලය පශ්චාත් උපාධි ආයතනයේ සහකාර ලේඛකාධිකාරී ශාමිකා නිලන්ති ජයසිංහ මහත්මිය කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ.

එම නිලධාරීන් අධිකරණයට දැන්වූයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂකවරිය විසින් සැකකාර වෛද්‍යවරියට මාස හයකට වලංගු මාණ්ඩලික සහතික කරන ලිපියක් නිකුත් කර ඇති බවත්, පැමිණිලිකාර ලේඛකාධිකාරිවරිය එය සත්‍යය පිටපතක් බවට සහතික කර එම සැකකාර වෛද්‍යවරිය වෙත ලබා දී ඇති බවයි.

සැකකාර වෛද්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇති මාස 6 ක් වලංගු මාණ්ඩලික සහතිකකරන ලිපියෙහි සඳහන් බලාත්මක දිනය 2022 ජූලි 1 ලෙසත් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් දිනය 2022 මාර්තු 16 දිනය සඳහන්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නොපමාව කරුණු දක්වන ලෙසට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර වෛද්‍යවරිය එම ලිපියෙහි බලාත්මක දිනය 2021 ජූලි මස 01 ලෙස සඳහන් කරමින් පැමිණිකාරියගේ ව්‍යාජ අත්සන් හා නිල මුද්‍රාව යොදා එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එහිදී එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි නියෝග කළේ.

Shares: