දේශීය

අම්පාරේ හඳුන්කූරු පිරමීඩ ජාවාරම ගැන තවත් ප්‍රදේශවලින් පැමිණිලි

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ හඳුන්කූරු පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් තවත් ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ දැනට අම්පාර, දමන, උහන ඇතුලු ප්‍රදේශ කිහිපයකින් මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති අතර දකුණ පළාතේ බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශවලින් ද මෙම ජාවාරමට හසුවූවන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

යම් පුද්ගලයෙකු විසින් මුල් අදියර යටතේ රුපියල් 50,000 ක වැනි මුදලක් අදාළ ආයතනයේ තැන්පත් කිරීමෙන් පසු හඳුන්කූරු පෙට්ටි දහසක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදී තිබෙනවා.

පසුව ඒවා නිෂ්පාදනය කර අදාළ ආයතනය වෙත ලබාදීමේදී රුපියල් 75,000 ක වැනි මුදලක් ලබාදී ඇති බව සඳහන්.

අනතුරුව එම ආයතනය විසින් ජනතාවට තැන්පත් කරන මුදල මෙන් දෙගුණයක් ද ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනතාව අතර තොරතුරු හුවමාරු වීමත් සමඟ ඊට සම්බන්ධ වන පිරිස් ඉහළ ගොස් ඇති නමුත් එක්වරම ජනතාව මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී ඒවා ලබාදීමට නොහැකිවීමෙන් අදාළ ආයතනයේ නියෝජිතයින් මේ වන විට ප්‍රදේශවලින් පළාගොස් ඇති බව වාර්තා වනවා.

Shares: