අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද යටතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.
මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේදීයි කැඳවනු ලැබුවේ.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ මෙම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බවයි.
ඒ අනුව අදාළ චෝදනා නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් මුදා හරින ලෙසත්, එම නීතිඥවරු සිය මූලික විරෝධතාවලින් කරුණු දක්වා තිබුණා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි නිවේදනය කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තියේ හතරවන වසර සැමරීම වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.











