දේශීය

රසායනික ද්‍රව්‍යක් ශරීරගත වී දරුවන් 7ක් රෝහලට

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් දඹුල්ල මූලික රෝහලටයි ඇතුළත් කර ඇත්තේ.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණා.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ, විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත්, විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවයි.

ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා තිබෙනවා.

කෙසේ වෙතත් දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවයි සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.

මේ වනවිට දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරි විමර්ශන සිදු කෙරෙනවා.

Shares: