ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.
අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අවස්ථාවේදියි චීන ජනපතිවරයා මේ බව කියා සිටියේ.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පවතින්නක් බවත්, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ඇති බවයි.
මෙමඟින්, වෙනස් රටවල් අතර, මිත්රශීලීව හැසිරීම හා අන්‍යෝන්‍ය ප්රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් බිහිකර ඇති බවත්, සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ෂී ජින්පිං මහතා සඳහන් කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව සමඟ එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.
මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, භෞමිත අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමග එක්ව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීමට සූදානමින් සිටින චීනය, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනපතිවරයා ප්‍රකාශ කළා.
එමඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාව වන බව පෙන්වා දුන් ෂී ජින්පිං මහතා වැඩිදුරටත් කියා සිටියේ නීති බලාත්මක කිරීම පිළිබඳ ආරක්ෂක සහයෝගිතා පැවැත්වීම, අන්තර් ජාතික විදුලි සන්දේශ අපරාධ මර්දනය කිරීම මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමුවන් යටතේ වන සම්බන්ධීකරණ හා සහයෝගිතා තවදුරටත් තහවුරු කළ යුතු බවයි.
කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය ගැඹුරු අර්ථයෙන් යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී පැවසුවා.
ලෝක කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලබා දුන් වැදගත් කර්යාභාරයක් ඉන් පිළිබිඹු වූ බවයි ඇය මෙහිදී සඳහන් කළේ.
තවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ චීනය සමඟ සබඳතාව වැදගත්කොට සලකන ශ්‍රී ලංකාව එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන අතර ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභවයෙන් සංවර්ධනය කිරීමට සක්‍රිය ලෙස අනුබල දෙන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දුන් වටිනා සහායට ස්තූති පළ කරමින් චීන මාදිලියේ නවීකරණ අත්දැකීම් අධ්‍යයනය කර චීනය සමග සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමෙන් සිය රටේ නව සංවර්ධනයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඇය කියා සිටියා.
එමෙන්ම ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර වත්මන් නොසන්සුන් ජගත් තත්ත්වයට සමනය කිරීමට වැදගත් වන අතර ශ්‍රී ලංකාව චීනය සමග එක්ව එම පුලපිරුම් ක්‍රියාත්මක කර ගෝලීය දකුණේ පොදු ජයග්‍රහණ සහතික කරනු ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩදුරටත් සඳහන් කළේ.











