හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමිනුයි හින්දු බැතිමතුන් දීපවාලි දිනය සමරන්නේ.
දීපාවලි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජය ගැන්ම සංකේතවත් කරන බවයි.
දීපවාලී දිනයේදී සෑම නිවසක්ම එළි කරමින් දැල්වෙන පහන් සිලෙන් මෙරට ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකිරීමට එක්ව යන මාවත තවත් එකලු වේවායී ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා සිය දීපවාලී සුභපැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා.
ජනපති අනුර කුමාර දිසානායක දීපවාලි දිනය වෙනුවෙන් එක් කළ සුබපැතුම් පණිවිඩය පහතින්.
”ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට (20) යෙදී තිබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා ආලෝකය පැතිරේවා‘යි යන ප්‍රාර්ථනය පෙරදැරිව ඔවුහු ආගමික වතාවත්හි නිරත වෙති.
මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජයගැන්ම සංකේතවත් කරයි. මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ යටිබිම්ගත අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටී. සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම අපගේ මෙම ප්‍රයත්නයෙහි මුඛ්‍ය අරමුණයි.
එසේම, අප පුරවැසියන්ගේ පමණක් නොව මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස අපි උර දී සිටින්නෙමු. සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව මෙහි ලා අවධාරණය කරමි.
දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවකි. දීපවාලි දිනයේදී සෑම නිවසක්ම හෙළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු කිරීමට අප එක්ව යන මාවත තව තවත් එකලු වේවා‘යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකේය සහ ලෝවැසි සියලු හින්දු බැතිමතුන්ට ස්වකීය සිත්සතන් ප්‍රභාවත් කෙරෙන සුබ දීපවාලී සැමරුමක් වේවායි සුබපැතුම් එක් කරමි.”











